නුඹගේ උත්තරීතර ප්‍රේමයෙන් පිදුම් ලැබීමට තරම්
මා පින් ඇත්තියක් වීමි..
නුඹට පෙම් කිරීමටද
අනන්ත සිත් වේදනා මැද සතුටු වීමටද
උගත්තෙමි...
සිහින මැවීම ජිවිතයම කරගෙන
ජීවන ගමනේ කර තබාගෙන යා නොහැකි තරමේ බලාපොරොත්තු පොදි බැද
කොහේ හෝ තැනකදී ඔබ හමුව
අත් අල්ලාගෙන
පියමනින්නට ඇගිලි ගැන්නෙමි...
අවාසනාවන්ත අවසානයන් බොහෝමයක
පෙරනිමිති දැක දැකම
හද සසල කරවන වේදනාව වන්නා වූද,
එයටම උන්මාදනීය ප්‍රතිකාරය වන්නා වූද
ඔබගේ ප්‍රේමය තුරුලු කර
සිනාසෙන අයුරු සිතින් දුටුවෙමි...
ඔබද මා මෙන්ම සිහින දකින්නට ඇත..
හීන මාළිගා තනන්නට ඇත..
නමුත් ඔබට වෙනත් මාවතක් නැතිවා වන්නට හැකිය...
ඔබ මගේ ජිවිතයේ මෙන්
මා ඔබේ ජීවිතයේ වටිනාම දෙය නොවන්නට පිළිවන..
හුදෙක් ඔබ හදවතේ මගේ ප්‍රේමය මනඃකල්පිතයක් වන්නටද හැකිය...
මා ඔබේවත් ඔබ මගේවත් නොවීම දෛවයේ ලියැවී තිබුනා වන්නට ඇත...
නමුත් එතෙකින් ජිවිතය නිමා නොකර
අප යා යුතුව ඇත,
නොසිතූ නොපැතූ මාවත් වල...
හද බැද ගත් බලාපොරොත්තු පොදි දැන් දැන් නම් බර වැඩිවී සේ හැගෙයි...
ඔබ ගැන තරහක් නම් නැත..
ඔබේ සිහින තුළ ගෙවූ දිවිය නම් මහමෙරක් තරම්ය...
මම නුඹට තවත් ප්‍රේම කරමි..
තවතවත් ප්‍රේම කරමි..
ඒ ආත්මගත ප්‍රේමය හදැතිව දිවි මග පුරාවට පිය මනින්නෙමි...